හදිසි අනතුරු ඇඟවීම්

rss

ආපදා කළමනාකරණ ප්‍රතිපත්තියට හැඳින්වීමක්

ශ්‍රී ලංකාව විවිධ ආකාරයේ ස්වභාවික උවදුරුවලට ලක්ව ඇත. ගංවතුර, නාය යෑම්, සුළිසුළං, නියං තත්ත්වයන්, කඳු කඩාවැටීම්, පොළව ගිලාබැසීම්, භූමි කම්පා, කුණාටු, සුනාමි තත්ත්වයන්, වෙරළ ඛාදනය, ලවණීකරණය, පාංශු ඛාදනය සහ අවසාදනය, ජල උල්පත්වලට ලවණ සහිත ජලය මිශ්‍රවීම, ලැව්ගිනි, තද සුළං ටොනෑඩෝ තත්ත්වයන් යනාදිය ඒවා අතර වේ. බහුලවම සිදුවන උවදුරු අතරට, අකුණු පිපිරීම්, වසංගත තත්ත්වයන් හා පරිසර දූෂණය හා සම්බන්ධ ව්‍යසනයන් ද ඇතුලත් වේ. 2004 දෙසැම්බර් මාසයේ ඇති වූ සුනාමි උවදුර ද,  ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්ම අහිතකර බලපෑම් එල්ල කළ අවිධිමත් ව්‍යසනයක් වශයෙන් අවධාරණය කොට ඇත.  පසුගිය වසර 400ක කාල සීමාව තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විනාශකාරී හා විනාශකාරී නොවන භූමිකම්පා විටින් විට වාර්තා වී ඇත.

ස්වභාවික ආපදා සිදුවීමෙහි සංඛ්‍යාතය වැඩිවීමේ ප්‍රවණතාවයක් ඇති අතර, අවිධිමත් සංවර්ධනය, පාරිසරික පිරිහීම, මානව මැදිහත්වීම සහ දේශගුණික විපර්යාසයන් මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇත. මානව මැදිහත්වීම ස්වභාවික උවදුරු සිදුවීමේ වාර ගණන සහ එහි ප්‍රබලතාවය වැඩිකිරීමට මෙන්ම මානව මැදිහත්වීම මත පෙර නොපැවති ස්වභාවික ව්‍යසන සිදුවීමට හේතු වී ඇති බව පිළිගත් කරුණකි. මෙයින් පෙන්නුම් කරනු ලබන්නේ ස්වභාවික සංසිද්ධි මගින් ඇතිවන ක්‍රියාවන්හි තීව්රතාවය වෙනස් කිරීමට මිනිසුන්ට කළහැකි කිසිවක් නොමැති වුව ද, ස්වභාවික ක්‍රියාකාරකම් ව්‍යසනයන් බවට පත් කිරීමට ඔවුන්ගේම ක්‍රියා හේතු නොවන ආකාරයෙන් කටයුතු කිරීම සඳහා ඔවුන් වෙත ඉතා වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බවයි. එවැනි මානව ක්‍රියාකාරකම් අතර, අනවසර ඉඩම් ගොඩකිරීම්, වන විනාශය අවිචාරවත් ලෙස කොරල්පර විනාශකිරීම, වැලි ගොඩදැමීම් සහ පතල් කැනීම් යනාදිය වේ.

වැඩිවන ජනගහනයත් සමග ස්වභාවික උපද්‍රවවලට ලක්වීමේ අඩු ප්‍රවණතාවයක් සහිත ඉඩම් ප්‍රමාණය සංසන්දනය කිරීමේදී, වැඩි අවදානමක් සහිත ඉඩම් වලට වඩා අඩු අවදානමක් සහිත ඉඩම් අත්පත් කරගැනීම සඳහා ජනතාව අතර තදබල ප්‍රවණතාවයක් දක්නට ඇත. මෙවැනි තත්ත්වයක් තුළ සැලසුමක් නොමැති සංවර්ධන ක්‍රියාකාරකම් මගින් මෙම අවදානම තවදුරටත් තීව්‍ර කරනු ලබයි. මෙම හේතුව මත, නාගරික සහ ග්‍රාමීය දිළිඳු ජනතාව බොහෝවිට වැඩි අවදානම් සහගත තත්ත්වයන්ට මුහුණදීමට සිදුව ඇත්තේ දුප්පතුන් මෙවැනි වැඩි අවදානම් සහගත ඉඩම් වල තම නිවාස තනා ගන්නා බැවිනි. පරිසරය සුරක්ෂිත කිරීම සඳහා විධිමත් සංවර්ධනය හා එහි තිරසරභාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන අතර, පාරිසරික උවදුරු අවම කරගැනීම සඳහා එය පිටිවහලක් වනු ඇත. මෙමගින් සංවර්ධනය, පරිසරය හා ආපදා කළමනාකරණය අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පවතින බව අවධාරණය කෙරේ. 

ස්වභාවික ආපදාවන්ට අමතරව, කාර්මික උවදුරු, තදබල කාර්මික හා වෘත්තීය අනතුරු, ගුවන් හා නාවික අනතුරු, නාගරිකව ඇතිවන ගිනි ගැනීම්, වසංගත තත්ත්වයන්, පිපිරීම්, ගුවන් ප්‍රහාර, සිවිල් හෝ අභ්‍යන්තර ගැටුම්, රසායනික අනතුරු,( විෂ රසායන, වායු, ඉන්ධන, වෙනත්) විකිරණශීලී හදිසි අවස්ථා, අභ්‍යන්තරව හා මුහුදේදී සිදුවන තෙල් කාන්දුවීම්, ප්‍රවාහන අනතුරු ඇතුළු ත්‍රස්තවාදය හේතුවෙන් සහ අන්තරායකාරී ද්‍රව්‍ය හේතුවෙන් ඇතිවන අනතුරු වැනි මානව මැදිහත්වීම මත සිදුවන විවිධ වූ බරපතල ආපදාවන්ට රට මුහුණ පා ඇත. ජනවාර්ගික ගැටුම් හා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී හා න්‍යෂ්ටික ආපදා හේතුවෙන් ඇතිවන ව්‍යසනයන් ද සැලකිල්ලට ගතයුතු වේ.

ආපදා සිදුවීම් අතිවිශාල ජීවිත හා දේපළ අහිමි කිරීමට හේතුවන සිදුවීම් වේ. පුරෝකථනය කර ඇති අවස්ථාවක වුව ද, මිනිසාගේ පාලනයෙන් ඉක්ම වූ කරුණු මත සිදුවන ව්‍යසනයන් සම්පූර්ණයෙන් වළක්වා ගැනීමේ හැකියාවක් නොමැත. මෙහිදී සෑම විටම සිදුවන පාඩුව මිනිස් ජීවිත හා දේපළ වශයෙන් ගත හැකිය. මෙකී සන්දර්භය තුළ, 21 වන සියවසේ ව්‍යසන කළමනාරණය සඳහා ඒකාබද්ධ හා සම්බන්ධීකරණයකින් යුත් ජාතික ප්‍රවේශයක් අවශ්‍ය වේ. අවදානම අවම කිරීමේ සමස්ථ අරමුණ මගින්;  ආපදා ඇතිවීම් වලක්වා ගැනීම, ඒවායේ බලපෑම අවම කිරීම හා ප්‍රමාණවත් පෙර සූදානමක් ඇති කිරීම සඳහා ඵලදායී ප්‍රතිචාරයක් සහතික කිරීම කෙරෙහි අවධානය යොමුකොට ඇත.

ආපදා අවදානම් අවම කිරීමේ මැදිහත්වීම් සිදුකිරීමට හා ඒවා සිදුවුවහොත් කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහතික කිරීම උදෙසා පෙර සූදානම් සැලැස්මක් සකස් කිරීම සඳහා රටෙහි විවිධ ප්‍රදේශවල ඇති වන ආපදා අවදානම් සහ ඒ සඳහා දායක වන්නා වූ ස්වභාවික හා මානව යන හේතු සාධක ද්විත්වයම ඇගයීමට ලක්කල යුතුව ඇත. මෙමගින් ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් ඇති බව අවධාරණය කෙරෙන අතර; මෙය සියලු පුරවැසියන්ට, දේපළ සහ යටිතල පහසුකම්වලට ඉතා ඉහළ සුරක්ෂිත භාවයක් ලබාදීම සඳහා සියලු ආයතන හා ප්‍රජාවන් වගකීමෙන් බැඳෙමින් කටයුතු කෙරෙන ප්‍රතිපත්තියක් විය යුතුය.

ප්‍රතිපත්ති රාමුව

ආපදා අවදානම් කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා 2005 මැයි මස අංක 13 දරණ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත මගින් නෛතික විධිවිධාන ඉදිරිපත් කර ඇත. මෙම පනත මගින් රට තුළ ආපදා අවදානම් කළමනාකරණය සඳහා මග පෙන්වීම් සිදුකිරීම සඳහා ඉහල මට්ටමේ අන්තර් අමාත්‍යාංශ ව්‍යුහයක් සහිත ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාව (NCDM) ඇති කිරීමට මෙන්ම, ආපදා අවදානම් කළමනාකරණය කිරීමේ නියමු ආයතනය වශයෙන් සම්බන්ධීකරණය, පහසුකරණය සහ මගපෙන්වීම සිදුකරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන (DMC)  පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සලසා ඇත. 2006 ජනවාරි මාසයේදී ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශය ස්ථාපිත කරන ලද අතර, එම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන වශයෙන් ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ලයිස්තුගත කොට ඇත.

  • අවදානම් සහගත තත්ත්වයේ පසුවන ප්‍රජාවන් වශයෙන් ශ්‍රී ලංකා රජය විසින් හඳුනාගෙන ඇති කණ්ඩායම්වලට මුහුණපෑමට සිදුවන ආපදා තත්ත්වයන් අවම කිරීම සඳහා සකස් කොට ඇති යෝගෝ ක්‍රියාකාරී රාමුව මත මෙම ප්‍රතිපත්තිය පදනම්ව ඇත. ක්‍රියාකාරී රාමුව මගින් පහත දක්වා ඇති ප්‍රධාන ක්ෂේත්‍ර පහක් හඳුනාගෙන ඇත.
  • ආපදා අවම කිරීම සඳහා ශක්තිමත් ආයතනික පදනමකින් ක්‍රියාත්මක වීම සහතික  කිරීම.
  • ආපදා අවදානම හඳුනාගැනීම, ඇගයීම සහ අධීක්ෂණය කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීම් වැඩි දියුණු කිරීම.
  • සියලු මට්ටම්වල ආරක්ෂාව සහ ප්‍රකෘතිමත් ස්වභාවය ආරක්ෂා කෙරෙන සංස්කෘතියක් ගොඩනැගීම සඳහා දැනුම, නවෝත්පාදන හා අධ්‍යාපනය භාවිතා කිරීම.
  • විශේෂ අවධානයක් යොමුකළ යුතු අවධානම් සාධක අවම කිරීම.
  • ඵලදායී ප්‍රතිචාර දැක්වීමක් සඳහා ආපදා පෙර සූදානම ශක්තිමත් කිරීම.

ප්‍රතිපත්තියෙහි අරමුණු

අදාල සියලු පාර්ශ්වකරුවන් සමග පහත දක්වා ඇති දෑ ස්ථාපිත කිරීම, ශක්තිමත් කිරීම සහ පවත්වාගෙන යාම ජාතික ආපදා කළමනාකරණ ප්‍රතිපත්තියෙහි ප්‍රධාන අරමුණු වේ :

  • ආපදා අවදානම් කළමනාකරණය සඳහා අවශ්‍ය ධාරිතා වර්ධනය කිරීමෙහිලා තිරසාර යාන්ත්‍රණ, ව්‍යුහයන් සහ වැඩසටහන් හඳුන්වා දීම.
  • ආපදා අවදානම් කළමනාකරණය සඳහා ජාතික, කළාපීය සහ ප්‍රාදේශීය මට්ටමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීම සහතික කිරීම.
  • විශේෂිත අරමුදල් යෙදවීමක් තුළින් ආපදා අවදානම් කළමනාකරණය සඳහා අවශ්‍ය සම්පත් සුලබතාවය සහතික කිරීම.
  • අවිධිමත් ආර්ථික ක්‍රියාකාරකම් සහ පරිසර හානි අවම කිරීම.
  • තිරසර සංවර්ධනයක් ළඟාකර ගැනීම උදෙසා, ආපදා අවදානම් අවම කිරීමේ වැඩසටහන් එක් එක් අංශයන්හි සම්පත් වෙන්කිරීම ද ඇතුලත් සංවර්ධන වැඩසටහන් සමග ඒකාබද්ධ කිරීම සහ ප්‍රධාන ප්‍රවාහයට ඇතුලත් කිරීම.
  • ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ ආපදා සහ ආපදා අවදානම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ විධිමත් ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීම හා මගපෙන්වීම් ලබාදීම සහතික කිරීම.
  • මධ්‍ය කාලීන සහ දිගුකාලීන නැවත ගොඩනැගීමේ හා පුනරුත්ථාපනය කිරීමේ කටයුතු වල ප්‍රමිතීන් පැවති තත්ත්වයට වැඩි උසස් තත්ත්වයක පවත්වා ගැනීම.
  • ආපදා අවදානම අවම කිරීම සඳහා ආපදා අවදානම් සහිත ප්‍රදේශවලට උචිත සැලසුම් මාර්ගෝපදේශ සහ ඉදිකිරීම් මිණුම්දඬු ඉදිරිපත් කිරීම.
  • අවදානම් සහගත තත්ත්වයේ පසුවන ප්‍රජාවන්ගේ ශක්තීන් වැඩිදියුණු කිරීම සඳහා ප්‍රජා මූල ආපදා කළමනාකරණය සහ ක්ෂුද්‍ර රක්ෂණය ප්‍රවර්ධනය කිරීම.

ආයතනික සැකැස්ම

ආපදා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම, රජය, පළාත් සභා, පළාත් පාලන ආයතන සහ දිස්ත්‍රික් මට්ටමේ පරිපාලන පද්ධතිය වෙත පැවරේ. ජාතික, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් පැවැත්වෙන සම්බන්ධීකරණ කමිටු හරහා සියලු අමාත්‍යාංශ, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් සමාජ හා ප්‍රජා සංවිධාන සම්බන්ධීකරණය, පහසුකම් සැපයීම හා සහයෝගීතාවය පවත්වාගැනීමේ කාර්ය භාරය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉටුකරනු ලබයි.

විවිධ පාර්ශ්වකාර නියෝජිතායතන, අධ්‍යාපනඥයින් සහ පෞද්ගලික හා රාජ්‍ය අංශ නියෝජනය කරන එක් එක් ක්ෂේත්‍රයට අදාළ විශේෂඥයින්ගේ නියෝජනයකින් යුත් ආපදා අවදානම් කළමනාකරණ කමිටුවලට හඳුනාගත් විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා විශේෂ තාක්ෂණික හා උපදේශන කමිටු පත්කරනු ලැබේ.

මාර්ගෝපදේශ මූලධර්ම

ජාතික ආපදා කළමනාකරණ ප්‍රතිපත්තිය සඳහා පහත දක්වා ඇති මූලධර්ම මග පෙන්වනු ලැබේ.

  • පූර්ව අනතුරු ඇඟවීම්, ප්‍රතිචාර දැක්වීම සඳහා පෙර සූදානම, හානි අවම කිරීම, වලක්වා ගැනීම, දැනුවත් කිරීම සහ පුහුණුව සඳහා පූර්ව ආපදා අදියර තුළදී ඉහලම ප්‍රමුඛතාව ලබාදීම.
  • පූර්ව අනතුරු ඇඟවීම් සකස් කිරීම හා නිකුත් කිරීම හඳුනාගත් තාක්ෂණික ආයතන මගින් හා අනෙකුත් සියලු විසුරුවා හැරීම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මගින් ඉටුකිරීම.
  • ආපදාවක් සිදුවෙමින් පවතින කාලසීමාව තුළ, ජීවිත වලට ක්ෂණිකව මතුවිය හැකි තර්ජන අවම කරමින් හා මිනිසුන්ගේ ක්ෂණික අවශ්‍යතා සඳහා කඩිනම් ප්‍රතිචාර දක්වමින්, ජීවිත හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඉහල ප්‍රමුඛතාවයක් ලබාදීම.
  • පශ්චාත් ආපදා අදියර තුළ දී, මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සැපයීම, අත්‍යවශ්‍ය සේවාවන් මගින් වහා යථා තත්ත්වයට පත්කිරීම් හා පෙර නොපැවති ආකාරයේ උසස් ප්‍රමිතියකින් යුත් මධ්‍යකාලීන හා දිගු කාලීන පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු ඉටුකිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදීම.  
  • පූර්ව ආපදා අදියර තුළදී අවදානම් සහගත තත්ත්වයන් මත පදනම්ව ද, ආපදා කාලසීමාව තුළ පීඩාවට පත්වීම් මත පදනම්ව ද, සමාන ලෙස සම්පත් බෙදාහැරීම පවත්වා ගැනීම.
  • අවදානම් තත්ත්වයේ පසුවන හා පීඩාවට පත් වූ සියලු ප්‍රජාවන් සඳහා  සමාන අන්දමින් සැලකීම.
  • සාමූහික සමාජ වගකීමක් ලෙස සලකමින්, ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාකාරකම් සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම.
  • ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයට ක්‍රියාකාරී අන්දමින් සම්බන්ධව සිටින සියලු පාර්ශ්වකරුවන් සඳහා චර්යා ධර්ම පද්ධතියක් සකස්කොට සම්මත කිරීම.
  • තොරතුරු දනගැනීමේ අයිතිය - සුදුසු ප්‍රතිචාර සහ පශ්චාත් ආපදා ප්‍රතිචාර මත අවදානම් සහගත තත්ත්වයන් ඇගයීම පිළිබඳ තොරතුරු,
  • සහභාගී වීමේ අයිතිය - අවදානම් සහගත ප්‍රදේශවල ආපදා සම්බන්ධයෙන් මෙන්ම සංවර්ධනයට අදාළව  තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වීමට,
  • වගවීමක් ලබාගැනීමේ අයිතිය - නිශ්චිත ආපදා සහන සැලසීමේ ක්‍රියාකාරකම් ඉටුතිරීමේදී වගවීම සම්බන්ධයෙන් සොයා බැලීම සහ අඩුපාඩු සිදුවී ඇත්නම් ප්‍රාදේශීය ලේකම්, හෝ දිස්ත්‍රික් ලේකම් හෝ ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාව විසින් ප්‍රාදේශීය මට්ටමෙන් පත්කරන ලද කමිටුවක් මගින් නිවැරදි කොට නැවත ක්‍රියාත්මක කරවීමට. 

උපාය මාර්ග

ප්‍රතිපත්තියෙහි අරමුණු ඉටුකර ගැනීම සඳහා පහත දක්වා ඇති උපාය මාර්ග අනුගමනය කෙරේ.

ආපදා වලක්වා ගැනීම ද ඇතුලත්ව ආපදා අවම කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරීම හෝ තාක්ෂණික ආයතන මගින් සංවර්ධන සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලියේදී ආපදා අවම කිරීමේ සැලසුම් ඒකාබද්ධ කිරීම වැනි කටයුතු මගින් ආපදා අවදානම් අවම කරගැනීමේ හැකියාව ඇත. අවම කිරීමේ ක්‍රියාවලියේදී, ආපදා බලපෑම් තුළින් මිනිස් ජීවිත, මහජන උපයෝගිතා සහ යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා ඉහල ප්‍රමුඛතාවයක් දෙනු ලැබේ.

රටතුළ ඇති ආපදා තත්ත්වයන්ට අදාළ සියලු තොරතුරු සහ උපද්‍රව පිළිබඳ සිතියම් එකම ස්ථානයකින් ලබාගැනීම සහතික කිරීම සඳහා බහුවිධ අවදානම් සිතියම්ගත කිරීම, අවදානම් සහ දැඩි අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳ ඇගයීම් සිදුකිරීම; සහ මීට අදාළ කාර්යයන්හි නියැලෙන ව්‍යාපෘතීන් තාක්ෂණික සහාය සපයනු ලබන ජාත්‍යන්තර ආයතන සමග සහයෝගීතාවයෙන් කටයුතු කරන විට, එක් මධ්‍යස්ථානයක සිට තාක්ෂණ හුවමාරුව සිදුකිරීම සහතික කෙරේ.

සියලු ආකාරයේ ආපදාවන් ඵලදායී අන්දමින් කළමනාකරණය කිරීම සහතික කිරීම උදෙසා ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ කමිටු හරහා කාර්යක්ෂම සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කොට, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය, පළාත් පාලන ආයතන, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් ප්‍රතිචාර දැක්විය හැකි පරිදි ආපදා පෙර සූදානම් සැලසුම් සකස් කරනු ලැබේ. සාමූහික සමාජ වගකීමක් සේ සලකා ආපදා කළමනාකරණය සිය ආයතනවල වාර්ෂික වැඩසටහන් තුළට ඇතුලත් කිරීම මගින් ඒකාබද්ධ කිරීමට හා ප්‍රධාන ප්‍රවාහයට එක් කිරීමට පෞද්ගලික අංශය දිරිගන්වනු ලැබේ.

ප්‍රජා පාදක ආපදා කළමනාකරණය තුළින් ප්‍රජාවගේ ජීවිත හා පරිසරය ආපදාවන්ගෙන් ආරක්ෂා කිරීම සහ ආපදාවන්ගෙන් හානියට පත් ප්‍රදේශ සංවර්ධනය කිරීම හා නඩත්තු කිරීම දිරිගන්වනු ලැබේ.

අධි අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන අවදානම් සහගත තත්ත්වයේ පසුවන ජනතාවට ජාතික හා ජාත්‍යන්තර තාක්ෂණික නියෝජිත ආයතන විසින් නිකුත් කරන විවිධ උවදුරුවලට අදාළ අනාවැකි සහ අනතුරු ඇඟවීම් බෙදා හැරීම සඳහා විශ්වාසදායී සහ කාර්යක්ෂම පූර්ව අනතුරු ඇඟවීම් විකාශය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කොට පවත්වාගෙන යාමට කටයුතු කෙරේ.

කිසියම් පිළිගත් ආයතනයක් විසින් වර්තමානයේ නිශ්චිත උවදුරු සම්බන්ධයෙන් සම්බන්ධීකරණය, අධීක්ෂණය හෝ අනතුරු ඇඟවීම් සිදුකරනු ලබන නමුත්, එසේ කිරීම සඳහා එකී ආයතනයට නෛතික බලයක් නොමැති අවස්ථාවලදී, අවශ්‍ය නීතිමය බලතල ලබාදී අදාළ ආයතන ශක්තිමත් කෙරේ. ආයතනික ධාරිතාව ප්‍රමාණවත් නොවීම සහ තොරතුරු සන්නිවේදනයේ දුර්වලතා වැනි අඩුපාඩු ඇත්නම් ඒවා මගහරවා ශක්තිමත් කෙරෙනු ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින ස්වභාවික විපත් හා මිනිසා විසින් ඇති කරන ලද විපත් සම්බන්ධයෙන්  සතියේ සෑම දිනකම පැය 24/7 පදනමින් අඛණ්ඩව ප්‍රතිචාර දැක්වීම සඳහා ජාතික සහ උප ජාතික මට්ටමේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන සහ ජාතික මට්ටමේ ඇමතුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

සමාජ සාධාරණත්වය, මධ්‍යස්ථභාවය, අපක්ෂපාතීත්වය, වටිනාකම් සහ සංස්කෘතිය ආරක්ෂා කරමින්, බලපෑමට ලක් වූ ප්‍රජාවගේ ජීවන තත්ත්වයන් කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීම උදෙසා අදාළ අමාත්‍යාංශ, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධීකරණයෙන් අවම කාල සීමාවක් තුළ උපරිම ආධාර ලබාදෙනු ලැබේ.

ඕනෑම ආපදාවක් හේතුවෙන් විපතට පත්ව සරණාගත කඳවුරුවල වෙසෙන ජනතාව නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාවක් පැනනැගුණු විට හැකි ඉක්මනින් ආරක්ෂිත නිවාස (තාවකාලික හෝ ස්ථිර) වෙත යොමු කෙරෙනු ඇත.

පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ සැලසුම්වල සඳහන් අන්දමට; හදිසි සහන සහ තාවකාලික නිවාස පහසුකම් සැලසීම සම්බන්ධ ක්‍රියාකාරකම් ඉටුකිරීමේදී, රාජ්‍ය සහ පෞද්ගලික අංශ, සහ රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යාපාරික ප්‍රජාව, ප්‍රජා මූලික සංවිධාන (CBOs)  යනාදි ආයතනවල සහයෝගය සහ සම්පත් උපයෝගී කරගැනීම සඳහා එකී ආයතන සමග සම්බන්ධීකරණය තුළින්, පළාත් සභා සහ පළාත් පාලන මට්ටමින් සහ දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කෙරේ.  මෙකී ක්‍රියාකාරකම් සිදුකිරීමේදී විශ්වාසය දැඩිලෙස ආරක්ෂා කිරීම තුළින්, බලපෑමට ලක් වූ පුද්ගලයින්ගේ අභිමානය, ගුණාංග හා සංස්කෘතීන්ට ගරු කිරීම හා සහනාධාර ලබාදීමේදී සමාජ සාධාරණත්වය, සහන සමාන අන්දමින් බෙදාහැරීම, මධ්‍යස්ථභාවය සහ අපක්ෂපාතීත්වය සුරැකීමට කටයුතු කෙරෙනු ඇත.

ඉඩම් හඳුනාගැනීම සහ වින්දිතයින්ට ස්ථිර නිවාස ලබාදීමේ අවශ්‍යතාව පැනනැගී ඇති බැවින්, නිවාස අහිමි පුද්ගලයන්ට තාවකාලික නවාතැන් සැපයීමේ දී, රට තුළ පිහිටි උපාය මාර්ගික ස්ථානවල යටිතල පහසුකම් ස්ථාපිත කිරීම කල්දැමීමට කටයුතු කෙරේ.

ආපදාවලට ලක්වූ ප්‍රදේශ සඳහා අවශ්‍ය අමතර සම්පත් ආපදාවට ලක්නොවූ සෙසු ප්‍රදේශ වලින් ලබාගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විවිධ මට්ටමේ පරිපාලන ව්‍යුහයන් සමග අවශ්‍යතාව පරිදි සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇත.

ආපදා සහන සේවා අමාත්‍යාංශය මගින් සහන සැලසීමේ කටයුතු ඉටුකරනු ලැබේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2007.10.29 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇති පරිදි, මෙකී සහන සේවා සැපයීමේ සමස්ථ ක්‍රියාදාමය සම්බන්ධීකරණය හා කළමනාකරණය ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශය මගින් ඉටුකෙරෙනු ඇත.

අවදානම් සහගත තත්ත්වයට පත්වීම මත හෝ ආපදාවකට ලක්වීම මත පුද්ගලයින් නැවත පදිංචි කිරීමට සිදුවිය හැක. හිංසනයන් බේරුම් කිරීමේ ජාතික ප්‍රතිපත්තියෙහි නැවත පදිංචි කිරීම්වලට අදාළ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඇතුලත් වැදගත් හා ස්ථිර පියවරයන් මීට අදාළ කරගත හැකිවේ.

  • අවදානම් සහගත ස්ථානයන්හි ජීවත්වන ජනතාව නැවත පදිංචි කිරීම, ඉඩම් බෙදා වෙන්කිරීම සහ ඉදිරියෙහි දී ඇතිවිය හැකි ආපදා අවම කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංවර්ධනය.
  • නිරවුල් කිරීමේ ක්‍රියාවලියේ සෑම අදියරකදීම බලපෑමට ලක් වූ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ක්‍රියාකාරී අන්දමින් මැදිහත් වීමට හැකි යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම.

දේශගුණික විපර්යයාස මත සිදුවන ආපදා යටතට ගැනෙන; මුහුදු මට්ටම ඉහල යාම මත ඇතිවිය හැකි අවදානම ද සැලකිල්ලට ගනිමින්, ‍වෙරළ සීමාවේ ඉඩම් පරිහරණය අවම කිරීම සම්බන්ධයෙන් උපාය මාර්ගික සැලසුම් හඳුනාගැනීමට සහ විවිධ  ආපදා මගින් ඇතිවන අවදානම් සහගත තත්ත්වයන් සහ එකී ආපදාවන් මගින් විපතට පත්වන ප්‍රජාවන් සම්බන්ධයෙන් ආපදා කාල සීමාව තුළ හෝ පශ්චාත් ආපදා කාල සීමාව තුළ කටයුතු කිරීම සඳහා තීරණ ගැනීමේ ධුරාවලියට අනුකූලව ආපදා කළමනාකරණය පිළිබඳ ජාතික සභාව මගින් දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීම.

බලපෑමට ලක්වූ ප්‍රදේශවලට අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා ජාතික, පළාත් / පළාත් පාලන, දිස්ත්‍රික් / ප්‍රාදේශීය මට්ටමේ සේවා සැපයීමේ ඒකක මගින් හානියට පත් මහජන උපයෝගීතාවන් පිළිබඳ කඩිනම් සමාලෝචනයක් සිදු කරනු ලැබේ. පළාත් පාලන ආයතන මගින් ඔවුන්ගේ සැළසුම්වලට අනුව තම බල ප්‍රදේශන්හි සියලුම සේවා අවශ්‍යතා සැපයීම සඳහා ක්ෂණිකව කටයුතු කරනු ලැබේ. පොදු මහජන සේවාවන් දැඩි ලෙස බලපෑමට ලක් වී ඇති අවස්ථාවන්හිදී එකී සේවා සැපයීම සඳහා කඩිනම් තාවකාලික පියවර අනුගමනය කරනු ලැබේ.

අදාළ අමාත්‍යාංශ, නියෝජිත ආයතන සහ විවිධ මට්ටමේ පරිපාලන ව්‍යුහයන් සමග එක්ව විවිධ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම තුළින් පුහුණු, පොදු දැනුවත් කිරීම් සහ අධ්‍යාපන වැඩසටහන් යනාදිය පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මගින් කටයුතු කරනු ලැබේ.

අවදානම් සහගත තත්ත්වයේ පසුවන ප්‍රජාවන්ට ආපදා අවස්ථාවන්හි දී සිය ආරක්ෂාව සලසා ගතහැකි  පරිදි ඔවුන්ගේ හැකියාවන් වර්ධනය සිදුකෙරෙන අතර, ප්‍රජා මූලික ආපදා කළමනාකරණය තුළින් ඔවුන්  ආපදාවන්ගෙන් ආරක්ෂා කරනු ලැබේ.

ගුරු පුහුණුව ද ඇතුළත්ව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩසටහන්වලට අනුකූලව ආපදා කළමනාකරණය පාසල් විෂය ධාරාවට ඇතුලත් කිරීමට සහ සුදුසු පරිදි පාසල් දැනුවත් කිරීමට අදාළ ආයතන සමග සහසම්බන්ධව කටයුතු කිරීම.
ආපදා කළමනාකරණය පිළිබඳ පොදු දැනුවත්කිරීම් සහ පාඨමාලාවල විෂය ක්ෂේත්‍රයට ගැලපෙන පරිදි විශේෂ සංයුතියක් සහිතව විශ්ව විද්‍යාල සහ අනෙකුත් තෘතියික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපන විෂය ධාරාව තුළට ආපදා කළමනාකරණ විෂය ඇතුලත් කිරීම සඳහා අදාල ආයතන සමග එක්ව කටයුතු කිරීම.

ජනමාධ්‍ය තුළින් පොදු ජනතාව දැනුවත් කිරීමේ දී: නිවැරදි හා කාලීන තොරතුරු මහජනතාවට ලබාදීම සම්බන්ධයෙන් තම ආයතනවලට ඇති වගකීම අවධාරණය කිරීම තුළින්,  ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මගින් මාධ්‍ය මෙහෙවර හඳුනාගනු ලබයි.

ආපදා කළමනාරකණ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම සඳහා සම්බන්ධීකරණ යාන්ත්‍රණය

රටතුළ අවදානම් කළමනාකරණය සඳහා පුළුල් එකඟතාවයකින් යුත් යාන්ත්‍රණයක් මෙම ජාතික ආපදා කළමනාකරණ ප්‍රතිපත්තිය මගින් ඉදිරිපත් කර ඇති අතර,

  • එක් එක් පාර් ශ්වකරුවාගේ වගකීම් සහ කාර්යයන් පිළිබඳ පැහැදිලි අවබෝධය තුළින් ආපදාවන් ඵලදායී අන්දමින් කළමනාකරණය කිරීම සඳහා සියළු පාර්ශ්වකරුවන් සමග ජාතික මට්ටමින් සම්බන්ධීකරණය සිදුකිරීම.
  • අන්තර් අමාත්‍යාංශ, අන්තර් ක්ෂේත්‍රීය හා අන්තර් ආයතන සමග සම්බන්ධීකරණ යාන්ත්‍රණය තුළින් සියළු ආපදා කළමනාකරණ ක්‍රියාකාරකම් සඳහා යොදාගනු ලබන සම්පත් උපරිම අන්දමින් භාවිතයේ යොදවා ගනිමින් අනවශ්‍ය නාස්තිය මගහරවා ගැනීම සහතික කිරීම.
  • දත්ත පදනමක් පවත්වා ගැනීම සහ එක් එක් ආයතන ස්ථාපිතව ඇති භුගෝලීය පසුබිම, විශේෂඥතා ක්ෂේත්‍රය සහ ආයතන සතු සම්පත් යනාදිය සැලකිල්ලට ගනිමින්, ජාතික වශයෙන් පිළිගත් ආපදා කළමනාකරණ වැඩසටහන් පවත්වාගෙන යාම සඳහා රා.නො.සංවිධාන/අන්තර් ජාතික රා.නො.සං./ ප්‍රජා මූලික සංවිධාන සමග සම්බන්ධව කටයුතු කිරීම.   

අධීක්ෂණය සහ සමාලෝචනය

ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විමසමින්, ප්‍රතිපත්තිය පිළිබඳ අධීක්ෂණය සහ සමාලෝචනය කිරීමේ වගකීම ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍යාංශය වෙත පැවරේ. බරපතල ආපදාවකට පසු හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමකට අවශ්‍ය දෑ හඳුනාගැනීම සහ සම්පාදනය කිරීම සඳහා ප්‍රතිපත්තිය වරින්වර සමාලෝචනය කරනු ලැබේ.

ආපදා කළමනාකරණය සඳහා අරමුදල්

ජාතික හෝ අන්තර් ජාතික වශයෙන් නීත්‍යානුකූල ප්‍රභවයන් මගින් ලැබෙන්නා වූ සියළු අරමුදල්  වගකීමට බැඳෙන්නා වූ සියල්ලන් තෘප්තිමත් වන අන්දමේ විනිවිද භාවයකින් යුතුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් යොදවා ගනු ලබයි.

තම ආයතනවලට අදාල ආපදා සේවාවන් සඳහා අවශ්‍ය අරමුදල් පළාත් සභා / පළාත් පාලන ආයතන /දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු අදාළ පාර්ශ්වකාර ආයතන මගින් සිය වාර්ෂික ඇස්තමේන්තුවලට ඇතුලත් කිරීම තුළින් ආපදා සේවාවන් සඳහා අරමුදල ගොඩනැගේ.

News & Events

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052