2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35000 කට අධික පිරිසක් මියගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් විය. එමෙන්ම බිලියන ගණනක් වටිනා දේපල ද විනාශ විය.එසේම දේපළ, පරිසරය, යටිතල පහසුකම් විනාශ ගණනය කිරීමේ දී එය රුපියල් බිලියන ගණනක්. සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ජනතාවට සිදු වූ සමාජීය බලපෑම ගණන කළ නොහැකියි.
2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියලු දෙනා සිහිපත් කරමින් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය, ජනතා සහභාගිත්වයෙන් සිදුකරනු ලබන අතර මෙවර “ජාතික සුරක්ෂිත” දින වැඩසටහන වෙනුවෙන් දිත්වා සුළි කුණාටුව හේතුවෙන් රට තුළ පවතින සමාජීය සහ ආර්ථික තත්වයන් සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත. එසේම මෙවර දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියසදී 2025.12.26 දින පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
එසේම ˝ජාතික සුරක්ෂිත දිනය” වෙනුවෙන් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා දිවයින පුරා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්විය යුතුව ඇත. එබැවින් ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් 2025 දෙසැම්බර් 26 වන දින දිවයින පුරා පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය මහජනතාව සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.




