Emergency Warnings

rss

Safety Day edited 20242004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35,000 කට අධික පිරිසක් මිය ගිය අතර පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් අතුරුදහන් වුණ අතර දේපළ, පරිසරය, යටිතල පහසුකම් විනාශ ගණනය කිරීමේ දී රුපියල් බිලියන ගණනකි. එසේම සුනාමි ව්‍යසනයට ගොදුරු වූ ජනතාවට සිදු වූ සමාජීය බලපෑම ගණන කළ නොහැක. එබැවින් රජය නැවත මෙවැනි විපතකට පත් නොවීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ අනුව ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් රට තුළ ස්ථාපිත කරමින් මහජනතාවට මුහුණ පෑමට සිදු වී ඇති ආපදා අවදානම කළමනාකරණය කිරීම සඳහා කටයුතු කර තිබේ.

එසේම 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” වශයෙන් නම්කර තිබෙන අතර 2005 වසරේ මේ දක්වා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් “ජාතික සුරක්ෂිත දින” සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් සර්ව ආගමික වැඩසටහන් සංවිධානය කරනු ලැබේ. එසේම ˝ජාතික සුරක්ෂිත දිනය” යෙදී ඇති දෙසැම්බර් 26 වන දින පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා රට පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරනු ලබයි. එසේම දිවයින ආපදා ප්‍රත්‍යස්ථ සමාජයක් බිහි කිරීම වෙනුවෙන් ප්‍රජා දැනුවත් කිරීම, ආපදා පෙර සූදානම ඇති කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.

මෙවර “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 26 දින පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේ දී ද දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් “ජාතික සුරක්ෂිත දිනය” සැමරුම් උත්සව පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු සංවිධානය කර තිබේ.
එසේම එළැබෙන දෙසැම්බර් 26 වන දින පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා රට පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාව ආරක්ෂා කරමින් සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීමට එක්වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

සුනාමි ව්‍යසනය සිදු වී වසර 20 ක් පිරීම නිමිත්තෙන් දෙසැම්බර් මාසය පුරාවටම “ආපදා ප්‍රත්‍යස්ථිත ප්‍රජාවක් - දශක දෙකක සුනාමි ප්‍රත්‍යවේක්ෂණය” යන තේමාව යටතේ ජාතික මටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් තරුණ ප්‍රජාව සහ ස්වේච්ඡා කණ්ඩායම් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කෙරුණු අතර පසුගිය නොවැම්බර් මස 04 වන දින, “විසි වසරක සුනාමි ප්‍රත්‍යාවේක්ෂණය” යන තේමාව යටතේ ආපදාවකට මුහුණදීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම, ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන පාර්ශව සහ විද්වතුන්, අධ්‍යාපනඥයින් සහ පර්යේෂකයින් වැනි විවිධ පාර්ශව විසින් සුනාමි ආපදා ප්‍රත්‍යස්ථතාව ගොඩනැගීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව පසුවිපරම් කිරීම වෙනුවෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කිරීම තුළින් විවිධ ක්ෂේත්‍ර තුළ පවතින පෙරසුදානම සොයාබැලීමට හා පාර්ශවකාර ආයතන මේ සම්බන්ධව උනන්දු කරවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.

එසේම ආපදා ප්‍රත්‍යස්ථිත ප්‍රජාවක් - දශක දෙකක සුනාමි ප්‍රත්‍යවේක්ෂණය යන තේමාව යටතේ ජාතික මටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් තරුණ ප්‍රජාව සහ ස්වේච්ඡා කණ්ඩායම් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ එළබෙන දෙසැම්බර් 26 වන දින “අනාගත පරපුර සවිබල ගැන්වීම තුළින් ආපදා ප්‍රත්‍යස්ථතා සමාජයක් බිහි කිරීම” යන තේමාව යටතේ ජාතිත තරුණ සේවා සභාව සමග එක්ව ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවගේ කාර්යයභාරය පිළිබදව තරුණ තරුණියන් 1,400 ක් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට ද අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අවශ්‍ය පියවර ගෙන තිබේ.

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079