அவசர எச்சரிக்கைகள்

rss

 නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත්

cyclonic storm South East Bay of Bengolනිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඹ දෙසට සෙමින් ගමන් කරමින්, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු,උතුරු මැද, නැගෙනහිර, වයඹ, සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව දැනුම් දී තිබෙන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව නිවේදනයේ සඳහන් කර ඇත. මෙම නිවේදනයට අනුව මධ්‍යම, සබරගමුව, දකුණ, සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

එසේම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බැවින් අද දිනයේදී ද (දෙසැම්බර් 12) පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස නිවේදනය කර ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ. 

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යා හැකි අතර පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැකි බවත් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 30-40 පමණ විය හැකි බවත් නිවේදනය කර ඇත.

එසේම පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි අතර පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට මදවශයෙන් රළු විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව දන්වා ඇත. ත්‍රිකුණාමලය, කන්කසන්තුර සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවිය හැකි බවත් දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් නිවේදනය කර ඇත.

ඇතිවිය හැකි ආපදා හානි අවම කරගැනීම සදහා අවධානය යොමු කරන ලෙසත් යම් ආපදා තත්ත්වයක් වාර්තා වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අංකයට අමතන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

@DMC

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052