කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය සහ ශ්‍රී ලංකාව යන ආසියානු රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් තිරසර සහයෝගීතාව තුළින් ජාතික පෙරසූදානම් හවුල්කාරිත්වයන්ගේ අනාගතය දියුණු කිරීම යන තේමාව යටතේ සංවිධානය කරන ලද ආසියානු පෙරසූදානම් සහයෝගිතාවයේ කලාපීය සමුළුව කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පසු ගිය දා පැවැත්විනි.
දේශගුණික විපර්යාස සිදු කරනු ලබන බලපෑම සහ ඊට ඔරොත්තුදීමේ වැදගත්කම අවධාරණය කරමින්, දුෂ්කරතා විඳදරාගන්නා ප්‍රජා අත්දැකීම් පෙන්වාදෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාව මුහුණ දෙන අඛණ්ඩ අභියෝග පිළිබඳව මෙම ප්‍රතිපත්තිමය සාකච්ඡාවට සහභාගී වෙමින් විදේශ නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමන්ද්‍ර මහතා අවධාරණය කරන ලදී. ආපදා පෙරසූදානම සහ ප්‍රකෘතිමත්වීමේ ක්‍රියාවලිය තුළ ප්‍රජා-මූලික ප්‍රවේශ සවිබලගැන්වීම, ප්‍රාදේශීය නායකත්වය සහ දේශීය දැනුම ඒකාබද්ධ කිරීම සඳහා පෙනී සිටීමේ වැදගත්කම පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් මෙහිදී අවධාරණය කරන ලදී.
එසේම වඩාත් ප්‍රත්‍යස්ථ සමාජයක් ගොඩනැගීම සඳහා ආපදා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි දියුණු කිරීමේදී ජාත්‍යන්තර සහයෝගීතාව, කලාපීය දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම සහ ක්‍රියාකාරී රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ගවල වැදගත්කම ආමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.
ජාතික ආරක්‍ෂාව සඳහා ආපදා අවදානම් අවම කිරීමේ සහ දේශගුණික ඔරොත්තුදීමේ තීරණාත්මක කාර්යභාරය, ස්වාභාවික හේතුන් මත හා මිනිසා විසින් නිර්මාණය කරන ලද උපද්‍රව ආර්ථික ස්ථාවරත්වයට සහ සංවර්ධනයට බරපතල අභියෝග එල්ල කරන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.
එසේම බහු පාර්ශ්වකරුවන්ගේ සහාය, තිරසාර මෙන්ම ජාතික වශයෙන් ආපදා සූදානම් කිරීමේ පද්ධති ගොඩනැගීම, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ ප්‍රජා පාදක ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා රජය, සිවිල් සමාජය සහ පෞද්ගලික අංශය ඵලදායී ලෙස සම්බන්ධ කරගැනීමේ වැදගත්කම අවධාරණය කරන ලදී.
රජය, සිවිල් සමාජය සහ පෞද්ගලික අංශය ආපදා අවදානම් ක්‍රියාවලිය තුළ ඵලදායී සම්බන්ධ කිරීමේ අරමුණින් ආසියානු පෙරසූදානම් සහයෝගිතාව 2016 වර්ෂයේ දී ආරම්භ කළ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, Janathakshan GTE සමාගම සහ ලංකා වාණිජ මණ්ඩලය යන ආයතන ශ්‍රී ලංකා පෙරසූදානම් සහයෝගිතාවයේ සම හවුල්කාරීත්වය දරනු ලබයි. ආසියානු ආපදා පෙරසූදානම් මධ්‍යස්ථානය සහ බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනමේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පෙරසූදානම් සහයෝගිතාවය විසින් මෙම කලාපීය ප්‍රතිපත්තීමය කථිකාව සංවිධානය කරන ලදී.
ආසියානු පෙරසූදානම් සහයෝගිතාවයේ සාමාජික රටවල තානාපතිවරු, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි රණරාජා මහත්මිය, යුධ හමුදාපති ලුතිනන් ජනෙරාල් ලසන්ත රොද්‍රිගො, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ, ආසියානු ආපදා සූදානම මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්‍ෂ Aslam Perwaiz සහ ගේට්ස් පදනමේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආචාර්ය Valerie Berno, ඇතුලු ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන, පර්යේෂකයින් ඇතුලු පාර්ශවකාර ආයතන නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී විය.




























