Polonnaruwa AL exam 2023  1පසුගිය දිනවලදී ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් දැඩි බලපෑමට ලක් වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල ප්‍රදේශවල පහත් බිම් හරහා වැටී ඇති මාර්ග ජලයෙන් යට විය. මේ හේතුවෙන් මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට ඇති විය හැකි ප්‍රවාහන දුෂ්කරතා මගහැර විභාගයට පෙනී සිටීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරන ලැබු ඉල්ලීම මත විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂිත විභාග මධ්‍යස්ථානයක් පො/මනම්පිටිය සිංහළ මහා විද්‍යාද්‍යාලයේ ස්ථාපිත කරන ලදී.

මෙම විභාග මධ්‍යස්ථානය තුළ සියළු විෂය ධාරා යටතේ ඕනෑම මාධ්‍යයකින් විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. ඒ අනුව මනම්පිටිය, දිඹුලාගල, අරලගංවිල හා වැලිකන්ද යන කොට්ටාශ වල සිට විභාගයට පෙනී සිටීම සඳහා පොළොන්නරුව නගරයේ ඇති පාසැල් වෙත පැමිණීමට නියමිත සිසුන් හට බාධාවකින් තොරව මෙම මධ්‍යස්ථානයේ දී උසස් පෙළ විභාගයට පෙනී සිටීම හැකි වී ඇත.

එසේම පවතින ආපදා තත්වය යම් ආකාරයකින් වර්ධනය වී විභාගයට පෙනී සිටින සිසු දරුවන් සහ විභාග රාජකාරිවල යෙදෙන කාර්යය මණ්ඩලයට මුහුණපෑමට සිදුවිය හැකි ප්‍රවාහන දුෂ්කරතා මග හැර ගැනීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපුරාදීම සඳහා යුධ හමුදාව සතු ජලය හරහා ගමන් කළ හැකි ඩබ්ලිව්.එම් ඉසෙඩ් (WMZ) රථ දෙකක්, නාවික හමුදා බෝට්ටු සහ අවශ්‍ය නිළධාරීන් ස්ථානගත කර ඇත.

ඊට අමතරව විශේෂයෙන්ම අනුරාධපුරය, බදුල්ල, මාතලේ, මහනුවර, නුවරඑලිය, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මොනරාගල ඇතුලු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම කිසියම් ආපදා තත්වයක් හේතුවෙන් විභාගයට ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සඳහා අවදානම් සහිත ප්‍රදේශ ආවරණය වන ආකාරයෙන් අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහිතව ත්‍රිවිධ හමුදා භට පිරිස් ස්ථාන ගත කර ඇත.

එසේම බාධාවකින් තොරතව මෙවර උසස් පෙළ විභාගය පවත්වා ගැනීම සඳහා විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය තුළ විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර ඇති අතර සියළු දිස්ත්‍රික් කාර්යාල සෙනසුරාදා දිනවල දී ද විවෘතව කර තැබීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

එසේම උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු දරුවන්ට ආපදා හේතුවෙන් මුහුණ පෑමට සිදුවන බාධා මගහරවා ගැනීම සඳහා ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති සම්බන්ධීකරණ කාර්යාලය ඇමතුම් අංක 1911 යන දුරකථන අංක මගින් අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ගත හැකිය.

Polonnaruwa AL exam 2023  1 Polonnaruwa AL exam 2023  3 Polonnaruwa AL exam 2023  2

Polonnaruwa AL exam 2023  2 Polonnaruwa AL exam 2023  4 Polonnaruwa AL exam 2023  6

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079